නිතර අසන පැන (FAQ)
සමූපකාර සමිති ලියාපදිංචිය සහ සාමාජිකත්වය පිළිබඳ ඔබ දැනගත යුතු මූලික තොරතුරු.
01. සමූපකාර සමිතියක් ලියාපදිංචි කිරිමට අවශ්‍ය අවම සාමාජිකයන් සංඛ්‍යාව කීයද?
- සාමාජිකයන්ගේ සමිතියක් නම් අවමය සාමාජිකයන් 20 දෙනෙකු සිටිය යුතුයි.
- ලියාපදිංචි සමිති වලින් සමන්විත සමිතියක් නම් අවම වශයෙන් සමිති 03ක් සිටිය යුතුයි.
02. සමූපකාර සමිතියක සාමාජිකයෙකු වීමට තිබිය යුතු සුදුසුකම් මොනවාද?
- වයස අවුරුදු 18 වැඩි විය යුතුයි.
- සමිති බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු හෝ සේවයේ නියුක්තව සිටින හෝ නිශ්චල දේපලක් අයත්ව සිටින කෙනෙක් විය යුතුය. (සමුපකාර පනතේ 4(1)වගන්තිය (අ) - පාසල් සමූපකාර සමිති වලට අදාල නැත).
03. සමූපකාර සමිතියක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
මූලික අවශ්‍යතා:
පාසල් සමූපකාර සමිතියක් නොවන්නේ නම් වයස අවුරුදු 18 වැඩි අදාල බලප්‍රදේශයේ සුදුසුකම්ලත් සාමාජිකයන් 20 දෙනෙකුවත් ස්වේච්ඡාවෙන් සංවිධානය වී, අවම වශයෙන් මාස 06ක් වත් සමූපකාර ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කර තම හැකියාව සනාථ කළ යුතුය.
අනුගමනය කළ යුතු පියවර:
- සමූපකාර සමිතියක් ලෙස ලියාපදිංචි කිරීමට සමිතියේ මහ සභාවේ යෝජනාවක් සම්මත කර ගැනීම.
- සමිතිය සඳහා අතුරු ව්‍යවස්ථාවක් මහ සභාවෙන් සම්මත කර ගැනීම.
- පරිපාලනය සඳහා මහ සභාවෙන් කාරක සභාවක් පත්කර ගැනීම.
- නියමිත ආකෘති පත්‍රය පුරවා සමූපකාර රෙජිස්ට්‍රාර් සහ කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම. (සාමාජිකයන් 20 දෙනෙකුගේ අත්සන සහිතව).
- ඉල්ලුම් පත්‍රය සමඟ යෝජිත අතුරු ව්‍යවස්ථාවේ පිටපත් 02ක් ඉදිරිපත් කිරීම.
- යෝජිත ආර්ථික කටයුතුවලට අදාළ යෝග්‍යතා වාර්තා, මහ සභා වාර්තා සහ සහභාගීත්වය තහවුරු කිරීමේ ලේඛන ඉදිරිපත් කිරීම.
- සාමාජිකයින් කොටස් මුදල් ගෙවා ඇති බවට කාරක සභාවේ සහතික කළ වාර්තාවක් ඉදිරිපත් කිරීම.
- සමූපකාර සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන්ගේ නිර්දේශය ලබා ගැනීම.
04. සමූපකාර සාමාජිකයෙකුගේ සාමාජිකත්වය අහෝසි වීමට හේතු මොනවාද?
- සමිති බලප්‍රදේශය හැර යාම.
- විධිමත් ක්‍රමවේදයක් හරහා මහ සභා යෝජනාවකින් සාමාජිකත්වය නෙරපීම.
05. ලියාපදිංචි සමූපකාර සමිතියක් පිරිස් බල තක්සේරුවක් අනුමත කර ගන්නේ කෙසේද?
සමූපකාර සමිතියක මෙහෙයුම් කටයුතුවල අඛණ්ඩ බව හා කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රශස්ත මානව සම්පත සඳහා රැකියා තනතුරු නිර්ණය කිරීම පිරිස් බල තක්සේරුවක් සකස් කිරීම තුළින් සිදු කරනු ලබයි.
එහිදී ඉහළ, මධ්‍යම හා පහල කළමනාකරණ මට්ටම්වලට අදාලව ප්‍රධාන විධායක, මධ්‍ය විධායක, විධායක, මෙහෙයුම් (ii) ශ්‍රේණිය, මෙහෙයුම් 2 A ශ්‍රේණිය, සහාය සේවා (i) ශ්‍රේණිය හා සහාය සේවාව (ii) ශ්‍රේණිය ලෙස තනතුරු වර්ගීකරණය කරමින් පිරිස් බල තක්සේරුව නිර්මාණය කරනු ලබයි.
ඉහත වර්ගීකරණය යටතේ සමූපකාර සමිතියක සේවකයින් සම්බන්ධව අලුතින් තනතුරු ඇති කිරීම, ශ්‍රේණි හෝ පන්තියේ සිටිය යුතු සේවක සංඛ්‍යාව නිශ්චය කර, පිරිස් බල තක්සේරුව අනුමත කිරීම සමූපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්වරයා විසින් සිදුකළ යුතුය.
එක් එක් සමූපකාර සමිති සඳහා අවශ්‍ය වන්නා වූ මානව සම්පත(කාර්ය මණ්ඩලය) නිශ්චය කිරීමෙන් පසු 2014 අංක 01 දරන සබරගමුව පළාත් සමූපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තියේ 27 වෙනි වගන්තිය ප්‍රකාරවර පිරිස් බල තක්සේරුව සඳහා අනුමැතිය ලබාදීම සිදුකරනු ලබයි.
වැඩිදුර පරිශිලනය සඳහා:
- අභ්‍යන්තර මෙමෝ පත්‍රය
- කෙටුම්පත් කරන ලද පිරිස් බල තක්සේරුවක කාර්යය
- 2014 අංක 01 දරන සබර / ස.සේ.කො /ප්‍රඥප්තිය
- 2011 / 05 චක්‍රලේඛනය
- 2025 / 01 චක්‍රලේඛනය
06. සමුපකාර සමිතියක පිරිස් බල තක්සේරුවක් සංශෝධනය කර ගන්නේ කෙසේද?
ලියාපදිංචි සමූපකාර සමිතියක පිරිස් බල තක්සේරුවක් අනුමත කර ගන්නා ආකාරයට මෙම කාර්යය ද සිදු කරනු ඇත. සංශෝධනය සඳහා ඉදිරිපත් කිරිමේදී දැනට අනුමත පිරිස්බල තක්සේරුවේ පිටපතක් යොමු කළ යුතුය.
මීට අමතරව සමූපකාර සමිතියක් පිරිස්බල තක්සේරුවක් අනුමැතිය හා සංශෝධන සඳහා යොමු කිරිමේදී පහත ලේඛන ද ඉදිරිපත් කළ යුතුය:
- සමුපකාර සමිතියේ ඉල්ලීමේ ලිපිය
- කාරක සභා/අධ්‍යකෂක මණ්ඩල තීරණ වල සහතික කළ පිටපත
- අවශ්‍යතාවය මත මහා සභා තීරණ වල සහතික කළ පිටපත
- අවශ්‍යතාවය මත අනු කමිටු තීරණවල සහතික කළ පිටපත
- තනතුරු ඇති කිරීම පිළිබඳ ශක්‍යතා වාර්තාව
- විගණිත මුල්‍ය ප්‍රකාශන කට්ටලය හෝ ආසන්න මාස 06ක මෙහෙයුම් ප්‍රතිඵල ප්‍රකාශන (සහතික කරන ලද)
- මුල්‍ය තත්ත්ව විශේලේෂණ වාර්තාව (ආසන්න මාසයේ අවසන් දිනට)
- ප්‍රාග්ධන ගිණුම (ආසන්න මාසයේ අවසන් දිනට)
- ද්‍රවශිලතා වාර්තාව (ආසන්න මාසයේ අවසන් දිනට)
- අනුමත පිරිස් බල තක්සේරු පිටපත (ඇත්නම්)
- කෙටුම්පත් කරන ලද පිරිස් බල තක්සේරු පිටපත
07. සමුපකාර සමිතියක මුදල් තැන්පත් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
සමුපකාර සමිතියක් යනු පොදු අරමුණක් සහිතව සාමාජිකයන් එක් වී පිහිටුවා ගන්නා ලද ආයතනයකි. එහිදි සමිතියේ අතිරික්ත මුදල් ආයෝජනය කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් හා විචක්ෂණශිලිව සිදු කල යුතුය.
මුලික වශයෙන් සමුපකාර සමිතියක් විසින් මුදල් ආයෝජනය කිරීමේදී:
- පවතින නෛතික රාමුව
- සිදුකරනු ලබන ආයෝජනයේ සුරක්ෂිතභාවය
- සමිතියේ පවත්වාගත යුතු ද්‍රවශිලතාවය
- ලැබෙන ප්‍රතිලාභය
- ඉටු කල යුතු සමාජ වගකීම් හා සාමාජික ප්‍රතිලාභ
- ආයෝජන විවිධාංගීකරණය (ආයෝජන කළඹ)
යන මුලික කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ආයෝජන කටයුතු සිදු කළ යුතුයි.
විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු නෛතික මූලාශ්‍ර:
- සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තියේ 41 වෙනි වගන්තිය
- 2022/01 දරන ආයෝජන කළඹ චක්‍රලේඛය
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන මුල්‍ය ආයතනවලට අදාළ නෛතිකමය විධි විධාන
08. සමුපකාර සමිතියකට සේවකයෙකු බඳවා ගන්නේ කෙසේද?
සමූපකාර සමිතියක් සඳහා සේවකයින් බඳවා ගැනීම, උසස් කිරීම හා පත්කිරීම සමූපකාර සේවක කොමිෂන් සභා පනත හා ඊට අනුබද්ධ සමූපකාර සේවක ආයතන සංග්‍රහයේ පවතින විධි විධාන හා ඊට අදාළව වරින් වර සිදුකරනු ලබන සංශෝධන වලට යටත්ව සමූපකාර සමිති විසින් සිදුකල යුතුය.
මූලික නෛතික මූලාශ්‍ර:
- සමූපකාර සේවක ආයතන සංග්‍රහය
- සබර/ස.සේ.කො./2011/05 චක්‍රලේඛය
- සබර/ස.සේ.කො./2025/01 චක්‍රලේඛය
- 1972 අංක 12 දරන සමු.සේ.කොමිෂන් සභා පනත
09. සමූපකාර සමිතියක කොන්ත්‍රාත් පදනම මත සේවකයෙකු බඳවා ගන්නේ කෙසේද?
සමූපකාර සමිතියකට කොන්ත්‍රාත් පදනම මත සේවකයෙකු බඳවා ගැනීම හා වැටුප් ගෙවීම සම්බන්ධව සබර/සේ/කො/2011/05 දරන සබරගමුව පළාතේ සියලුම සමූපකාර සමිති /සංගම් වල සේවකයින්ගේ වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීම හා බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම නම් වූ චක්‍ර ලේඛයෙහි 02 පිටුවේ අනු අංක 05 යටතේ සඳහන් කර ඇති ආකාරයට සිදුකල යුතුය.
විශේෂයෙන්ම අවධානය යොමුකළ යුතු නෛතික මූලාශ්‍ර:
- 1972 අංක 12 දරන සමුපකාර සේවක කොමිෂන් සභා පනත
- 2014 අංක 01 දරණ සමූපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය
- සමූපකාර සේවක ආයතන සංග්‍රහය
10. සමුපකාර සමිතියක සේවකයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද?
සමූපකාර සමිතියක සේවකයින් සම්බන්ධයෙන් විනය පාලනය පිළිබඳ බලතල සමූපකාර සමිතියේ කාරක සභාව/අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ.
කාරක සභාව/ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම බලතල ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග හා විධිවිධාන සමූපකාර සේවක ආයතන සංග්‍රහයේ 5 වන පරිච්ඡේදයේ විනයානුකූල කාර්ය පටිපාටිය මඟින් සවිස්තරාත්මකව දක්වා ඇති බැවින් එකී පරිච්ඡේදයේ සඳහන් ආකාරයට සමූපකාර සමිතියක සේවකයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම කාරක සභාව/ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකළ යුතුය.
11. සමුපකාර සමිතියක කොටස් සඳහා ලාභාංශ නිකුත් කරන්නේ කෙසේද?
සමූපකාර සමිතියක කොටස් සඳහා ලාභාංශ වෙන්කිරීම හෝ ගෙවීම සිදුකළ හැකි වනුයේ ව්‍යවස්ථාපිත විගණනයෙන් පසු ශුද්ධ ලාභයෙන්, ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් 10% කට නොවැඩි ප්‍රතිශතයක් සඳහා සමූපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණි.
12. සමූපකාර සමිතියක ස්ථාවර වත්කම් මිලදී ගැනීම සහ සමූපකාර සමිතියක ස්ථාවර වත්කම් බැහැර කිරීම සිදුකරනුයේ කෙසේද?
ලියාපදිංචි කළ සමූපකාර සමිතියකට එහි අරමුණු හා පරමාර්ථවලට සම්බන්ධ වන්නාවූ යම් කාර්යයක් සඳහා අවශ්‍ය වන්නාවූ ඉඩම් ගොඩනැගිලි හෝ වෙනත් චංචල හෝ නිශ්චල දේපල මිලට ගැනීම, තෑගි වශයෙන් හෝ වෙනත් ආකාරයකින් අත් පත්කර ගැනීම, බද්ධට ගැනීම, විකිණීම, උකස් කිරීම, බද්ධට දීම, හුවමාරු කිරීම, හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීම, මහ සභාවේ සහ සමූපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්වරයාගේ පුර්ව අනුමැතිය මත සිදු කළ හැකිය.
මූලික නෛතික තත්ත්වය:
- සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තියේ 32 වගන්තිය
- සමූපකාර රීති මාලාවේ 48 වගන්ති ප්‍රකාරව
- CCD/AC/02/10/01/ හා 2024/08/29 දිනැති 2024/02 චක්‍රලේඛයේ සඳහන් සීමාවන්
13. සමූපකාර සමිතියක් නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා අනුමැතිය ලබාගන්නේ කෙසේද?
සමූපකාර සමිතියකට නව කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා හෝ මෙහෙයුම් ක්‍රියාවලියට අදාලව ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ වෙනත් විශේෂ අවශ්‍යතාවක් සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් සිදු කල හැකිය.
එහිදී සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තියේ 32(2) ක, සමූපකාර රීති මාලාවේ 48(1) වගන්තිය සහ 2024/02 චක්‍රලේඛයේ සඳහන් මූල්‍ය සීමාවන්ට ද යටත්ව, මහ සභාවේ හා සමූපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජ්ස්ට්‍රාර්වරයාගේ අනුමැතිය මත සිදු කල යුතුය.
ප්‍රධාන වශයෙන්ම කරගත යුතු කරුණු:
- ගොඩනැගිල්ලක අවශ්‍යතාවයට අදාළව ශක්‍යතා වාර්තාවක් සකස් කිරීම.
- මහ සභා, කාරක සභා /අධ්‍යක්ෂක මණ්ඩල තීරණය ගැනීම.
-
කාරක සභා /අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ලබා ගැනීමේදී:
- • අවශ්‍යතාවය තීරණය කිරීම හා සැලසුම් සකස් කිරීමට තීරණ ගැනීම
- • මිල ගණන් කැඳවීමට තීරණ ගැනීම
- • කැඳවන ලද මිල ගණන් හා සැලැස්ම අනුමත කිරීම
- • ගුණාත්මක, තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූලව සහ විශ්වසනීයත්වය මත පදනම්ව ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම
- • සැපයුම්කරු/කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම
- ඉඩමෙහි හිමිකාරිත්වය, නිරවුල්භාවය, වීථිරේඛා සහතික, නොපවරාගැනීමේ සහතික, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහතිකය සහ තහවුරු කිරීමේ ලේඛණ, පරිසර වාර්තව සහ ලබා ගත යුතු ප්‍රාදේශීය අනුමත සහතික ලබා ගැනීම.
- ඉදිකිරීම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා ගන්නා ආකාරය.
- සමිතියේ පවත්නා ද්‍රවශීලතා තත්ත්වය පිළිබඳව විශේෂ අවදානයක් යොමු කිරීම.
14. සමූපකාර සමිතියක පාලන ව්‍යුහය සැකසී ඇත්තේ කෙසේ ද?
සමූපකාර සමිතියක පාලන ව්‍යුහය
15. සමූපකාර සමිතියකට බලපාන මූලික නීතිරීති මොනවාද?
- සබරගමු පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තිය
- සබරගමුව පළාත් සමූපකාර සමිති ප්‍රඥප්තිය අනුව සකස් කර ඇති 1994 අංක 03 දරන සමූපකාර රීතිමාලාව
- 2014 අංක 01 දරන සබරගමුව පළාත් සමූපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය
- 2014 අංක 02 දරන සමූපකාර සේවක විශ්‍රාම වැටුප් ප්‍රඥප්තිය
- සමූපකාර සේවක ආයතන සංග්‍රහය
- 1982 අංක 12 දරන පොදු දේපල පිළිබඳ පනත
- සමූපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරනු ලබන චක්‍ර ලේඛන හා පොදු උපදෙස්
- ග්‍රාමීය බැංකු කාර්ය රීති සංග්‍රහය
- සමිතිය පිළිගත් අතුරු ව්‍යවස්ථාව හා කාරක නියෝග මාලාව