අප ගැන
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉතිහාසය සහ අරමුණු
සමූපකාරය
සමූපකාරය යනු හවුල් අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිතව ව්‍යවසායක් මගින් තම පොදු ආර්ථික සමාජ හා සංස්කෘතික අවශ්‍යතා හා බලාපොරොත්තු ඉටුකර ගැනීම පිණිස ස්වෙච්ඡාවෙන් එක් වු පුද්ගල සංවිධානයකි.
ශ්‍රී ලංකාවේ සමූපකාර නාමය භාවිතා කරමින් විධිමත් සංවිධානයක් බිහිවූයේ 1906 දී මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, දුම්බර මිටියාවතේ "දුම්බර සමූපකාර ණය දෙන සමිතිය" ආරම්භ වීමත් සමඟ ය.
එසේම මෙරට සමූපකාර සමිති සංස්ථාපනය හා පාලනය සඳහා වන 1911 අංක 07 දරන සමූපකාර ණයදෙන සමිති ආඥාපනත 1911 මැයි 05 වන දින තෙවනිවර කියවීමෙන් පසු සම්මත කර ඇත. මේ සමඟ මෙරට සමූපකාර ව්‍යාපාරයේ නිල ආරම්භය සිදුවිය. මෙම ආඥා පනත මෙරට පළමු සමූපකාර නිතියයි.
මෙලෙස ඇරඹි සමූපකාර ව්‍යාපාරය සීඝ්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වූ අතර එහි විධිමත් නියාමනය සඳහා 1930 දී සමූපකාර දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී.
1987 වසරේ දී සිදුකළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උපලේඛනය අනුව සමූපකාර විෂයේ 99% ක්ම පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් වීම සිදුවී ඇත. එමගින් පළාත් සභාවලට සමූපකාර විෂය ද පැවරී ඇති අතර ප්‍රඥප්ති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම මේ සමඟ සිදුවී ඇත.
ඒ අනුව සබරගමු පළාත් සභාව විසින් 1994 අංක 03 දරන සබරගමුව පළාත් සමූපකාර සමිති ප්‍රඥප්තිය සම්මත කර ඇති අතර එය සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර ප්‍රඥප්තිය ලෙස සංශෝධනය කර දැනට බලාත්මකව පවතී. එකී ප්‍රඥප්තියෙන් පැවරී ඇති ලියාපදිංචි සමූපකාර සමිතිවල සංවර්ධනය, විගණනය, ඈවර කිරීම, තීරක කරණය හා උසාවි කටයුතු වැනි කාර්යන් අධීක්ෂණය කිරීම සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති සබරගමුව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි.
මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය සමූපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර් වන අතර පළාත් කටයුතු සහ රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්වල, සහකාර කොමසාරිස් කාර්යාල කටයුතු අධීක්ෂණය සඳහා සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් නිලධාරීන්, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් අනුයුක්ත කර ඇත. ගිණුම් හා පරිපාලන කටයුතු සඳහා ගණකාධිකාරී, පරිපාලන නිලධාරී, සංවර්ධන නිලධාරීන්, කළමණාකරණ සේවා නිලධාරී ඇතුළු නිලධාරීන් අනුයුක්ත කර ඇත.
සබරගමුව පළාත් සභාවේ 2014 අංක 02 දරන සමූපකාර සේවක විශ්‍රාම වැටුප් ප්‍රඥප්තිය යටතේ පිහිටුවා ඇති සමූපකාර සේවක විශ්‍රාම වැටුප් අංශය මගින් පළාත් සමූපකාර සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් කටයුතු සිදුකරනු ලබයි.
අපගේ දැක්ම
ප්‍රජා ව්‍යවසායකත්වයේ නියමුවා වීම
අපගේ මෙහෙවර
සබරගමුව පළාත් සමූපකාර ප්‍රඥප්තිය ප්‍රකාරව සමූපකාර සමිති නියාමනය, පළාත් සමූපකාර ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, තාක්ෂණය, පර්යේෂණය, අධ්‍යාපනය, විගණනය, පුහුණු සේවා සම්බන්ධ නිර්ණයක සම්පාදනය, අධීක්ෂණය හා ඇගයීම, නිෂ්පාදන, අලෙවි හා මූල්‍ය කටයුතු, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මාර්ගෝපදේශයන් සැලසීම තුළින් පළාත් සමූපකාර ව්‍යාපාරය හා ප්‍රජාව නගා සිටුවීම සඳහා සානුබල සැපයීම.
මූලික අරමුණු
සමූපකාර ව්‍යාපාරයෙහි සේවය අවශ්‍යවන්නවු ජනතාවට එම සේවය සැලසීමට මැදිහත්වෙමින්, රාජ්‍ය ප්‍රතිපත්ති තුළ සමූපකාර ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරමින්, ජාතික සංවර්ධනය සඳහා සබරගමුව පළාත් සමූපකාර ව්‍යාපාරයේ උපරිම දායකත්වය ලබාදීම තුළින් සමූපකාර ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම.
ද්වීතික අරමුණු
- සමූපකාර අනන්‍යතාවය තහවුරුකර සමූපකාර ව්‍යුහය හා ක්‍රමය පෝෂණය කිරීම.
- රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනූකූලව තිරසාර සංවර්ධනයක් සඳහා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම.
- ඵලදායී විකල්ප ජීවන ක්‍රමයක් ලෙස සමූපකාර සංකල්පය ජනතාව අතර ප්‍රචලිත කිරීම.
- වෘත්තීය කළමනාකරණය හා යහපත් සමූපකාර නායකත්වයන් ගොඩනැගීම.
- පැවරී ඇති ප්‍රතිපත්ති හා නෛතික සීමාවන් තුළ පළාතේ සමූපකාර ව්‍යාපාරය මෙහෙයවීම.
- ජාතික ඵලදායිතා සම්මානය ජයග්‍රහණය කිරීමට හැකිවන පරිදි කාර්යක්ෂම සේවාවක් සැපයීම.
ප්‍රධාන කාර්යයන්
පාලන ව්‍යුහය හා ව්‍යාප්තිය
දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සමූපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර් වන අතර, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සහකාර කොමසාරිස් කාර්යාල ස්ථාපිත කර ඇත.
- රත්නපුර දිස්ත්‍රික්කය: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ක්
- කෑගල්ල දිස්ත්‍රික්කය: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක්
ගිණුම්, පරිපාලනය සහ විශ්‍රාම වැටුප් අංශ සඳහා විශේෂිත නිලධාරී මණ්ඩලයක් අනුයුක්ත කර ඇති අතර, 2014 අංක 02 දරන ප්‍රඥප්තිය යටතේ සමූපකාර සේවක විශ්‍රාම වැටුප් කටයුතු සිදුකරනු ලබයි.